Monday 27 September 2021

                                     ශ්‍රී ලංකාවට ආක්‍රමනික ජීවීන්( ශාක)

        


ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි කරන ආගන්තුක ආක්‍රමණශීලී සත්ව හා ශාක විශේෂ ගණනාවක් හඳුනාගත හැකිවනවා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක, ලංකාව තුල, ආක්‍රමණශීලී ලෙස ව්‍යාප්තවන ආගන්තුක ශාක වර්ග 20ක් හා සත්ව වර්ග 7ක් පිලිබඳ තොරතුරු විස්තර කොට තිබෙනවා.

SciencePedia අඩවියේ අප සැමවිටම ලංකාවේ ස්වභාව සෞන්දර්යය රැකගැනීමටත්, ජෛව විවිධත්වය ආරක්ශා කරගැනීමටත් කැපවෙන අතර මේ ලිපියෙන් ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට හානි කරන ආගන්තුක ආක්‍රමණශීලී සත්ව හා ශාක විශේෂ සියල්ලම ඔබට හඳුන්වා දෙන්නට උත්සහ කරන්නේ මෙවැනි ශාක හා සතුන් දුටුවිට ඒවා හඳුනාගෙන ඉවත් කිරීමට හෝ පරිසර අමාත්‍යාංශයේ බළධාරීන් දැනුවත් කිරීමට ඔබට හැකියාව ලැබෙන නිසයි.





1] අග මුල නැති වැල් - Golden Dodder/Field Dodder (Cuscuta campestris)








Golden Dodder/Field Dodder ලෙස ඉංග්‍රීසියෙන්ද, අග මුල නැති වැල් ලෙස සිංහලෙන්ද හඳුන්වන මෙම ශාකයේ විද්‍යාත්මක නාමය Cuscuta campestris යන්නයි. උතුරු ඇමරිකාවේ නිවර්තන ප්‍රදේශ නිජභූමිය කරගත් මෙය පත්‍ර නොමැති, විශාල ලෙස පැතිරෙන පරපෝෂිත ශාකයක් වනවා. වියළිකළාපයේ පහත්බිම් වල විශාල ලෙස පැතිර තිබෙන මෙම පැළෑටිය ආක්‍රමණික ආගන්තුක ශාකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම පැලෑටියේ ඇට චීනයෙන් සහල් ආනයනය කරද්දී ලංකාවට පැමිනෙන්නට ඇතැයි මතයක් පලවනවා.

අවුල්වී පැටලුණු ලා කහ පැහැති නූල් ගොන්නක් මෙන් ශාක මත විසිරී පවතින මෙය පූර්ණ පරපෝෂී ශාකයකි.  මුල වෙනත් ශාකයක ළපටි කඳට සවිවීම මගින් ශාකය පෝෂණය ලබයි. යම් හෙයකින් ධාරක ශාකය මියගිය හොත් බොහෝ විට අගමුල නැති වැලද මියයෑම සිදුවේ.




] හවරි නුග - Hard alstonia/ Milk wood (Alstonia macrophylla)

හවරි නුග
අගනිදිග ආසියාවේ ඉන්දූනීසියාව, මැලේසියාව, වියට්නාමය හා තායිලන්තය නිජබිම කරගත් හවරි නුග ආයූර්වේද ඖෂධ ශාකයක් ලෙසද භාවිතා වනවා. සමහර ප්‍රදේශවල ගිණිකූරු යන නමින්ද මෙම හවරි නුග ශාකය හදුන්වනවා. විශාල පත්‍ර සහිත, උකු කිරි ගසක් වන මෙය මීටර් 30ක් පමණ උසට වැඩෙන, ශක්තිමත් කඳකින් යුතු අතර  ඉතා ඉක්මණින් වැඩෙන නිසාත්, කඳ දැව සඳහා භාවිතා කල හැකි නිසාත් කලක් කැලෑ වැවීම සඳහා ලංකාවේ වගාකලද දැන් තෙත්කලාපයේ ආක්‍රමණික ශාකයක් ලෙස වර්ග කොට තිබෙනවා.



3] ඉපිල් ඉපිල්/Ipil Ipil/ Wild Tamarind/Coffee bush (Leucaena leucocephala)



දකුණු මෙක්සිකෝවේ හා මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත් ඉපිල් ඉපිල් ශාකය ඉතා වෙගයෙන් වැඩෙන නිසා කලක් ලංකාවේ දර ලබාගැනීමට, සෙවන ලබාගැනීමට මෙන්ම වනවගාව සඳහා මෙන්ම කොම්පෝස්ට් සඳහා ජෛව ද්‍රව්‍ය ලබාගැනීම සඳහාද රජය මගින් ප්‍රචලිත කලා. එහෙත් මෙම ශාකය දැන් ආක්‍රමණශීලී ශාකයක් ලෙස හඳුනාගෙන තිබෙනව. විශාල වශයෙන් ඇතිවන කුඩා ඇට  අවට පරිසරය පුරා පැතිරෙමින් විශාල ප්‍රදේශයක වේගයෙන් පැතිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසාම International Union for the Conservation of Nature (ICUN) ආයතනය වැඩිම වේගයකින් පැතිරෙන ආක්‍රමණශීලී ශාක 100 අතරට ඉපිල් ඉපිල් ඇතුලත් කොට තිබෙනවා.



4] කටකළු බෝවිටියා / බූ බෝවිටියා / කාක බෝවිටියා -  Koster's curse (Clidemia hirta)


මධ්‍යම ඇමරිකාව හා දකුණු ඇමෙරිකාව නිජබිම කොටගත් කටකළු බෝවිටියා / බූ බෝවිටියා / කාක බෝවිටියා ශාකය, යම් කලකදී අලංකාරයට සිටුවිය හැකි පැලෑටියක් ලෙස ලංකාවට ගෙන එන්නට ඇතැයි සිතිය හැකි අතර තෙත් කලාපයේ ඉතා වේගයෙන් වැඩෙමින් ආවේණික ශාකවලට වැවීමට ඇති ඉඩකඩ අසුරාදමයි. හිරු එළිය හා පසෙහි සාරවත් බව අනුව අඩි 3 සිට අඩි 16 දක්වා විශාලව වැඩෙන මෙම ශාකය වැඩිවශයෙන්ම ව්‍යාප්තවන්නේ එහි ගෙඩි ආහාරයට ගන්නා කුරුල්ලන් මගිනි. ඝණ පඳුරු ලෙස පැතිරෙන නිසා ආවේනික ශාකවල පැවැත්මට දැඩිලෙස බාධාකරයි. ශ්‍රී ලංකාව, හවායි, ඔස්ට්‍රේලියාව හා ෆීජී දූපත්වල මෙම ශාකය ආක්‍රමණකාරී ශාකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, දැන හෝ නොදැන මෙම පැලෑටියක් හෝ ජනන ද්‍රව්‍ය ඔස්ට්‍රේලියාවට ගෙන එන්නෙකු ඔස්ට්‍රේලියානු ඩොලර් 60,000ක දඩයකට යටත්වනු ඇත.



5] පාතීනියම් වල් පැළෑටිය - Paathenium Weed / Carrot Grass (Parthenium hystrophorous)


‘ඔබ දැන් සිටින්නේ පාතීනියම් වල් පැළෑටිය බහුලව ඇති ප්‍රදේශයකයි. මේ ප්‍රදේශයෙන් පස් වැලි සහ පැලෑටි ගෙනයාමෙන් වළකින්න’ වවුනියාව දිස්ත්‍රික්කයට ඇතුළු වීමෙන් අනතුරුව වවුනියාව නගරය හා ඒ අවට මෙවැනි දැන්වීම් පුවරු දක්නට ලැබෙයි. ඉහත කී දැන්වීම් පුවරු සවිකරනු ලැබුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනි. ඒ ‘පාතීනියම් හිස්ටෙරොෆොරස්ට්’ නමැති ආක්‍රමණික විනාශකාරී වල් පැළෑටියෙන් වන අති විශාල විනාශකාරී බව නොදන්නා ජනතාවට පහසුවෙන් ග්‍රහණය කරවීම උදෙසාය. ශාක ආරක්ෂක පනත යටතේ පාතීනියම් වැවීමට ඉඩ හැරීම ළඟ තබා ගැනීම වරදක් වන අතර එසේ වරදක් වන අයෙකුට මාස 06 කට නොඅඩු සිර දඬුවමක් හෝ රුපියල් දහසකට නොඅඩු දඩ මුදලක් නියම කිරීමට නීතිමය හැකියාව තිබේ.

පාතීනියම් නමැති ආක්‍රමණික ශාකය ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ලංකාවේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පැතිරයාමට පටන් ගත් බව සොයාගෙන තිබේ. එම හමුදා වවුනියාවේ කඳවුරු බැඳගෙන සිටි ස්ථානවල මුලින්ම මේ වල් පැළෑටිය දක්නට ලැබුණු අතර පසුව මේවා වෙනත් ස්ථාන දක්වා පැතිරයාම සිදුවිය. ඇතමුන් පවසන්නේ එම හමුදා මේවායේ කොල ගංජා මෙන් බීමට ගත් බවයි. එහෙත් මෙහි කොතරම් සත්‍යතාවයක් ඇත්දැයි නොදනියි.

සරුවට වැවුණු පාතීනියම් ගසක් අඩි පහක් හයක් උස වන අතර අතු රිකිලි විහිදා ලියලා වැඩෙයි. වියළි පරිසරය තුළ ඉතා හොඳින් වැඩෙන මේ වල් ශාකය සුදු පැහැති අලංකාර වූ මලින් යුක්තය. කැරට් පැළයක පත්‍ර මෙන් මෙහි පත්‍ර පිහිටා තිබේ. මල් මගින් බීජ හටගැනීම සිදුවන අතර එක් ගසකින් බීජ 25,000 ක් 30,000 ක් පමණ මුදා හරින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

පාතීනියම් පත්‍ර තරමක බූව සහිතය. මෙම ශාක කොටස් මිනිස් සිරුරේ ස්පර්ශ වීමෙන් සමේ රෝග (dermatitis) හා ස්වසන රෝග හට ගැනීමේ ඉඩකඩ පවතින බව සොයාගෙන ඇති අතර ගවයන් එළුවන් වැනි සතුන් මේ ශාක කොටස් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ කිරි නිෂ්පාදන අඩුවීම හා විවිධ රෝග තත්ව ඇතිවන බව සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මෙම පැලෑටියේ අඩංගු "පාතෙනින්" නම් විෂ රාසයණිකයක් මෙම ආබාධ ඇතිකිරීමට මුල්වෙයි.



6] යෝධ නිදිකුම්බා - Giant Mimosa (Mimosa pigra)


ආක්‍රමණකාරී ආගන්තුක ශාක ලේඛනයේ හයවැනි තැන හිමි වන්නේ යෝධ නිදිකුම්බා ශාකයටයි. එය ශාක දහයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආක්‍රමණකාරී ආගන්තුක ශාක ලැයිස්‌තුවේද නම සඳහන් දැඩි ආක්‍රමණකාරී ශාකයකි. 1980 දී මෙම ශාකය අප රටට පැමිණි බවට හඳුනාගෙන ඇත.

යෝධ නිදිකුම්බා වල් පැළෑටිය රට අභ්‍යන්තරයේ ජලාශ්‍රිත ප්‍රදේශ, වගුරුබිම් සහ ප්‍රධාන වශයෙන් මඩ (කුඹුරු) ඉඩම් ඉතාමත් ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින්  දිගින් දිගටම පැතිර යමින් පවතී. 1997 වකවානුව වන විට කුඩා ප්‍රදේශයක්‌ වසා පැතිර තිබූ මෙම ශාකය අද වන විට මහවැලි ගඟ ඔස්‌සේ බොහෝ දුරට පැතිරී ඇති බව පෙනේනට තිබේ.

මධ්‍යම ඇමරිකානු කලාපය නිජබිම කරගත් මෙම යෝධ නිදිකුම්බා පඳුරු විශේෂය සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලිමීටර් 750-2250 අතර වර්ෂාපතනයෙන්ද, සෙන්ටිග්‍රේඩ් අංශක 20-30 උෂ්ණත්වයෙන්ද යුත් ඝර්ම කලාපීය ප්‍රදේශ තුළ ඉතාම ආක්‍රමණශීලීව පැතිර යමින් ශීඝ්‍ර වර්ධනයක්‌ පෙන්නුම් කරයි. දැනටමත් ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, මෙක්‌සිකෝව, වියට්‌නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල තෙත්බිම් ආශ්‍රිතව මෙම ශාකය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. එම රටවල ගොවීන්ට මෙන්ම රජයන්ටද මෙය මහත් හිසරදයක්‌ වී ඇත.

එයට ප්‍රධානතම හේතුව වන්නේ අනෙකුත් වල්පැළෑටි මර්දනය කිරීමට යොදා ගන්නා සාමාන්‍ය ක්‍රම මගින් මෙය මර්දනය කිරීමට නොහැකි වීමයි. කටු සහිත ශාකයක්‌ බැවින් ඒ අතර ගැවසීමටද නොහැකිය. ඒ සමගම අක්‌කර දහස්‌ ගණනාවක්‌ වූ මෙවැනි ව්‍යසනකාරී ශාක සහිත කැළෑ ඉඩම් සඳහා එම රටවල් ගුවන් යානා යොදා වල්නාශක ඉසීමද අසාර්ථක වී ඇත. ඒ නිදිකුම්බා කුලයේ ශාකයක්‌ බැවින් වල්නාශක ඉසින විට මෙය පත්‍ර හකුළුවා ගන්නා නිසාය. එබැවින් තායිලන්තය, පිලිපීනය වැනි රටවල් මෙම ශාකය මර්දනය කිරීම අතහැර දමා ඇති බවද වාර්තා වේ. කුඹුරු ඉඩම් වසා පැතිරීම, කටු සහිත මෙම ශාකයේ පීඩාව මෙන්ම අස්‌වනු පාලු කිරීම මෙහි අනිසි බලපෑම් අතර ප්‍රධාන වේ. 




No comments:

Post a Comment

                                        පණු කරද(කෲඩියා සෙලනිකා) ශාකයේ නම කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් පණු කරද විද්‍යාත්මක නාමය කෘ...